බෝමලුවෙ මල් සුවඳක පැටලී.......
මෙම ගීතය ලියවෙන්නේ පුංචි සාමනේර හිමිනමකගේ සිතුවිලි පදනම් කරගෙන බව ගීතය රසවිඳි ඕනම පුද්ගලයකුට වැටහේ. අලුත පැවිදි වූ කුඩා හිමිනමක් නිසා තවම පරණ පුරුදු සිතුවිලි එක්පාරටම නවත්වා ගන්නට වෙර දරන නමුත් කිසිදවසක චීවරය අත්හැර නොයන බවත් ගීතය මුල සිට අගට යන විට තේරුම් ගත හැක. මේ පවුලේ පියා මියගොස් ඇති අතර පවුලේ අඟහිඟකම් නිසා පවුලේ පුතකු ශාසනයට පූජාකර ඇතිබව සංස්කාරකගේ අදහසයි.
බෝමලුවෙ මල් සුවඳක පැටලී
අම්මා පෙවු කිරි සුවඳ ගලා එන්නේ...
සුපුරුදු උනුහුමහකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වන්නේ...
දම් බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්
බෝමලුවේ වඩින පොඩි සාමනේර නමට උවැසි උවැසියන් පුජාකල මල්වල සුවඳ දැනී අම්මාගේ කිරි සුවඳ මතක් වෙනවා.අම්මා ලඟ ඉන්නවා වගේ දැනෙනවා.අම්මා ලඟ ඉන්න විට දැනෙන උනුහුම මතක්වෙනවා.දැනෙන්න ගන්නවා.ඒත් එක්කම ගෙදර දොර,අක්කා,මල්ලී,යහලුවන්,සෙල්ලම් පිට්ටනිය,සෙල්ලම් කරපු හැටි මේ හැම දෙයක්ම මතකයට මේ සාමනේර නමට මතක් වෙනවා.“එන්න හිතෙනවා අම්මා ගාවට මේ හැම දෙයක්ම බලල යන්න”. තවම මේ සාමණේර නම කැමති පොඩි දරුවෙක් වගේ සෙල්ලම් කරන්න,දුව පැන ඇවිදින්න.
එතෙර කරන්නම් හතරවරිගයම සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහලුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාදූ කියා කියනවිට වැඳවැටිලා
කොහොමද අම්මෙ ඔට්‍ටු දුවන්නෙ වෙල් ඉපනැල්ලෙ පැන නටලා
“මට ආසයි අම්මේ පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්න මගේත් එක්ක ඉස්සර සෙල්ලම් කරපු යාලුවන් එක්ක.එත්....ඒ යාලුවො මට පොඩි සාදු කියද්දි වඳිද්දී කොහොමද අම්මේ මම සෙල්ලම් කරන්නේ වෙල් ඉපනැල්ලේ දුවලා පැනලා නටලා”.මේ පුංචි සාමණේර නමට ප්‍රශ්නයක්... නමුත් පිලිතුර මේ පුංචි සාමණේර නම සතුයි.ඒත් මේ සාමණේර නම හතරවරිගයම, පරම්පරාවම සංසාරෙන් එතෙර කරන බව යනුවෙන් කියන්නේ පැවිදි ජීවිතයේ දිගටම රැඳී ඉන්න බවයි. ඒ කෙසේ වුවත් මේ පුංචි සාමණේර හිමිගේ සිතුවිලිවලින් අම්මාට පෙන්වන්නේ තමා තාම පොඩි දරුවෙක් සතු හැඟීම්,දඟකාරකම් සපිරි පුංචි දරුවෙක් බව සංස්කාරකගේ අදහසය.
බෝමලුවෙ මල්............
බවයෙන් බවයේ පෙරුම්පුරා මම බවුන්වඩා උපදින වාරේ
දිනයක මතුදා හතරවරිගයම එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා
තම පවුලේ කෙනෙකු සසුනට පූජාකලවිට එම දෙමවුපියන් ඇතුලු හතරවරිගයටම නිවන් දකින්නට පුලුවන් උතුම් පින්කමක් බව ඔබත් මමත් දනී.මේ සාමණේර නමට සිවුරුහැරලා පරණ පුරුදු විදියට ඉන්න සිත දුන්නත්,එසේ වුවහොත් අම්මාට සංසාරෙන් එතෙර වීමට නොහැකි වෙනබව දන්නා නිසා ආත්ම ගානක් හරි මම බවුන් වඩලා කොහොමහරි හතරවරිගයම මේ සංසාරෙන් එතෙර කරන බව මේ හිමිගේ අදහසයි.”ඊට පස්සේ පුලුවන් මට අම්මා ගාවට ඇවිත් අම්මාගේ උනුසුම ව්ඳින්න”.එත් පසුව වැටහෙනවා ඒ වනවිටත් අම්මත් මේ සංසාරෙන් එතෙර වී ඇතිබව.
sinduwe theruma niyamai,suba pethum..!
ReplyDeleteThanks piyumi
ReplyDelete